අස්ගිරි රජමහා විහාරය


ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ කිලෝමීටර් 2 ක් පමණ ඈතින් රජමහා විහාරය හමුවේ. ස්වාභාවිකව පිහිටි ගල්ලෙන් අශ්‍රිතව ගොඩනගන ලද පූජා භූමියකි.ක්‍රි.පූ 103 දී ඇති වූ ද්‍රවිඩ ආක්‍රමණ නිසා මායාරටට පලා ආ වලගම්බා රජු තැන තැන සැඟවෙමින් සිටින විට මේ ස්ථානයේදි සැඟවී වාසය කර ඇති බවට ජනප්‍රවාදවල එයි. පුරාවිද්‍යා භුමියක් ලෙස නම් කර ඇති මෙම විහාරස්ථානය වර්තමානයේ මෙම ප්‍රදේශයේ තිබෙන සුන්දරතම සහ උස්ම ස්ථානයේ පිහිටා ඇති විහාරය ලෙස හැදින්විය හැක.

මෙම අස්ගිරිය යන නාමය පිලිබද ජනප්‍රවාද රැසක් පවතින බව අපට මේ පිලිබද ගවේශනය කරන විට දැන ගැනිමට හැකි විය. එවානම්

  • අශ්වයෙකුගේ ගිරිය වැනි පිහිටීමක් විහාර කන්ද දැක ගත හැකි වීම.
  • කැලණිතිස්ස රජුගේ සොහොයුරු වූ උත්තිය කුමාරුගේ අශ්වයා මෙම ප්‍රදේශයේදී අභිරහස් ලෙස අතුරුදන් වීම නිසාත් එම නම පට බැදුන බව කියවේ.
  • තවත් ජනප්‍රවාදයක් වනුයේ කොට්ටේ රාජධානි සමය තුලදි නැති වූ අශ්වයෙක් හමු වි ඇත්තෙ මෙම කන්දෙන් විම නිසා අස්සයා හමු වු ගිරිය අස්ගිරිය ලෙසත් වු බවත් කියැවේ.
  • තවද මේ කදු මුදුනට ඉර බසිනා හැටි නිසියාකාරයෙන් පෙනෙන නිසා. අස්තං + ගිර කියන නමෙහි අර්ථය වනුයේ අස්තං යනු අතුරුදන් වෙනවා, ගිර යනු කන්ද කියන එක. අස්තං + ගිර අස්ගිරිය බවට පත් උනා යැයිත් කියනු ලැබේ.
  • අඩි 500 ක් පමණ උස් අස්ගිරිය කන්දේ වූ ලෙන මූලික කර ගනිමින් ආරණ්‍ය සේනාසනයක් ලෙස මෙම විහාරය ආරම්භ වූ බැව් පැවසෙයි. පසුකාලීනව ග්‍රාමවාසී භික්‍ෂුන් වහන්සේ වැඩවසන විහාරස්ථානයක් බවට පත්ව තිබෙනවා. අතීතයේ සංචාරක භික්‍ෂුන් වහන්සේ වරින් වර මෙම කඳු මුදුනේ තියෙන පුරාණ ගල් ලෙන් විහාරයේ වැඩසිට තිබෙනවා. කටාරම් සහිත ලෙන සම්බන්ධ වන විදියට පසුකාලීනව වරිච්චි බිත්තිවලින් පැරැණි ලෙන් විහාරය නිර්මාණය කරල තියෙනවා. 1909දි පමන චෛත්‍යයක් ප්‍රතිසංස්කරණයට ලක්කළ බවට ලිඛිත මුලාශ්‍රයක් පවතින බවත් මෙම විහාරස්ථානයේ ග්‍රාම වාසී පරපුරේ පළමුවෙනි භික්‍ෂුන් වහන්සේ තමයි බැණ්ඩියමුල්ලේ සුමංගල ස්වාමීන් වහන්සේ බව කියැවේ.


    image

    විහාරස්ථානයේ ඓතිහාසිකත්වය ගැන කතා කලහොත් ක්‍රිස්තු වර්ෂ 4 -5 පමණ සමයට අයත් පැරණි සෙල් ලිපියක් හා සිරිපතුලක සටහනක් විහාර භූමිය තුලදී දැකගත හැකිවේ. අතීතයේ විසූ ගම් ප්‍රධානීන් මුල් වෙලා ස්වාමීන් වහන්සේ නමක් වස් වසවාගෙන ලෙන් විහාරය ආරම්භ කල ආකාරය ගැන එයින් ප්‍රකාශ වන අතර එහි වූ අශ්ව රුපය පිලිබද නිවැරදි කියවිමක් තවම නැත. මෙහි වූ සිරිපතුල මතදි සිට බැලු කල ශ්‍රී පාදස්ථානය හොදින් දිස් වන බව කියැවේ. මෙම විහාරස්ථානය ගැන කියැවෙන අනෙකුත් කාරණා වන්නෙ ක්‍රි.පූ. 103 දී ඇති වූ ද්‍රවිඩ ආක්‍රමණ නිසා රජරටින් මායාරටට පලා ආ වළගම්බා රජු තැනින් තැන සැඟවෙමින් සිටි සමය තුල, මේ ස්ථානයේද සැඟවී වාසය කල බවටද ජනප්‍රවාදවල කියැවේ. එම කාලය තුල වලගම්බා රජු භාවිතා කළ රහස් උමඟක්ද මෙම විහාර භුමියෙන් දැක ගත හැක. එම උමඟ තුලින් පිලිකුත්තුව රජමහා විහාරයට (තවත් ජනප්‍රවාද වලදි වාරන රජමහා විහාරයටත්, පොලොන්නරුවටත් ) යා හැකි බව කියැවේ. නමුත් මෑත කාලයේදි මෙම උමඟ තුලට ගිය කෙනෙකු නොමැත.

    15-16 වන සියවස වනවිට, කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයෙහි කලාපීය රජෙකු වූ සකළ කලාවල්ලභ රජුගේ අනුග්‍රහය මෙම විහාරයට ලැබී තිබුනේය. මෙම විහාරයේ නුවර යුගයේ කලා ලක්‍ෂණ දැක ගත හැක. එහි විහාර ගෙයි වු සමාධි පිළිමය දෙපැත්තෙන් අභය මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමා දෙකක් පිහිට තිබෙන අතර, එම හිටි පිළිමවලට ආසන්නවම සමන් දේව ප්‍රතිමාවකුත්, විෂ්ණු දේව ප්‍රතිමාවකුත් තියෙනවා. ඒ වගේම ලෙනේ නුවර යුගයේ චිත්‍ර දැක ගත හැක. වියන නෙළුම් මල් මෝස්තර, ලියවැල් මෝස්තරවලින් අලංකාර කරල තිබේ. පිහිටි ගලේ නිර්මාණය කරපු පොකුණක් දැක ගත හැකිය. ඒය නිර්මාණය කරන ලද කාලය නිර්ණය කරල නැහැ. ලෙන් විහාරෙ දකුණු පැත්තෙන් ලෙන තුළටම වෙන්න දේවාලයක් නිර්මාණය කරල තියෙනවා. ලෙන් විහාරෙ පිළිමගෙය තියෙන කොටස පොළොව මට්ටමට මදක් උස්ව නිර්මාණය කර තිබේ. ඒයට ඇතුළුවිමට දැවයෙන් කරන ලද කුඩා සෝපානයක් ඇත.

    මෙම භුමියේ පවතින විවිධ සලකුනු නිසාත්, මෙම ගල මත පිහිටි පොකුන නිසාත් මෙම පුන්‍ය භුමිය නිදන් හොරුන්ගෙද ග්‍රහණයට ලක් විම කනගාටුවට කාරණයකි. ඔබත් මෙම ස්ථානය විනෝදය සදහා සංචාරය නොකර සැබෑ ඉතිහාසමය වටිනාකම දැනගෙන එම පරිසරයත් ආරක්ෂා කරගමින් සංචාරය කරන මෙන් අප ඉල්ලා සිටිමු.


    image