ග්‍රාම නාමයන්


මිනුවන්ගොඩ පුරවරයේ පිහිටා තිබෙන්නාවු ග්‍රාමයන්හි නාමයේ ඉතිහාසය පෙපගින් ඔබ වෙත ගෙන එමට කටයුතු කරන්නෙමු මෙම දත්තයන් ඒ ග්‍රාමයන්හි ග්‍රාමනිළධාරින් ලබා දී ඇති බව කරුණාවෙන සලකන්න.



හෙන්ඩිමහර


අත්තනගලු ඔයට යාව හැලකන්දන, ගණහිමුල්ල, ගොයිගම, මාතම්මන, උඩුගම්පල, වීදියවත්ත යන ග්‍රාම නිලධාරී වසම් වලින් වටවී හෙණ්ඩිමහර ග්‍රාම නිලධාරී වසම පිහිටා ඇත. උඩුගම්පල රාජ‍ධානි සමයේ දැනට කුඹුරු තිබෙන ප්‍රදේශයේ වැවක් තිබී ඇත. එම වැවෙන් රන් කෙණ්ඩියක් හමුවී රජුට භාරදී ඇත. එබැවින් මෙම ප්‍රදේශය “කෙණ්ඩිමහර“ ලෙස හදුන්වා ඇති අතර, පසුව එය බිදී යාමෙන් “හෙණ්ඩිමහර“ නම ‍භාවිතා වී ඇත. එකල පාලකයා වූ සකලකලා වල්ලභ රජුට ස්වර්ණාභරණ නිෂ්පාදනය කර දී ඇත්තේ හෙණ්ඩිමහර ගමේ ජනතාව බවට මතයක් ඇත. රාජධානි යුගයේ සිට කඩවර දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වූ දේවාලයක් මෙම ප්‍රදේශයේ අද වන විටද දැකගත හැක. තවද අස්වාන වැව් බැම්ම හා හදුන්ගහ වක්කලම මෙම ගමේ ඇති සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන දෙකකි.‍



නයිවල


පුරාණ කාලයේ නයිවල ප්‍රදේශය හරහා වෙනත් ප්‍රදේශ වලට මාර්ග පහසුකම් නොතිබුණ අතර, මෙම ප්‍රදේශය කැලෑ සහිත ප්‍රදේශයක් වී ඇත. මෙම කැලෑ ප්‍රදේශය හරහා මාර්ග කපා සකස් කරන යුගයේදී එහි නයින් බහුලව සිටි වලක් හමුවූ බැවින් මෙම ප්‍රදේශය “නයිවල“ ලෙස ප්‍රසිද්ධ වී ඇති බව ප්‍රකාශ වේ. එමෙන්ම අතීතයේදී මෙම කැලෑබද ප්‍රදේශය් වලකදී කාන්තාවක් නයි පැටවුන් හත් දෙනෙකු බිහිකළ බැවින් “නයිවල“ලෙස නම යෙදුන බව ව්‍යයහාරයේ පවතී.



කොරස


උඩුගම්පොල රාජධානිය පැවති සමයේ “කොරසෙ“ නමින් ඖෂධීය ගුණයෙන් යුත් වැල් විශේෂයක් මෙම ප්‍රදේශයේ බහුලව පැවත ඇත. එම නිසා කොරසෙ වැල් තිබූ පෙදෙස පසුයව කොරසෙ නමින් හැදින්වෙන්නට ඇති බව ප්‍රදේශවාසීන්ගේ මතයයි.



විතානමුල්ල


පුරාණ ගම්මානයක් වූ මෙහි උඩුගම්පල රාජධානියේ රජකම් කල සකලකලා වල්ලභ රජතුමා සමයේ මෙම ප්‍රදේශයේ තිබූ විහාරස්ථාන වල පෙරහැරවල් වැනි කටයුතු වලදී යොදාගන්නා බඩු බාහිරාදිය භාරව “විතාර“ නැමැති භාණ්ඩාගාරිකයෙකු සිටි බවත්, ඔහු සිටි ඉඩම “විහාරගොඩැල්ල“ නමින් හදුන්වා ඇති බවත්, පසුව එය “විහාරමුල්ල“වූ බවත් ගම්වාසීන් ප්‍රකාශ කරයි. තවදුරටත් ගම්වාසීන් ප්‍රකාශ කරන්නේ ඉහළ විතානමුල්ල වසමේ ඇති පාසල පිහිටියේ එම ඉඩමේ බවයි. වර්තමානයේ ඉම ඉඩම විහාර වත්ත නමින් හදුන්වයි. ඉපැරණි කාලයේ සිට භාවිත වීමේදී “විහාරමුල්ල“ යන නාමය විතානමුල්ල බවට පත්වූ බවත්, පැරණි වැවක් හා අම්බලමක් තිබූ බවත් ගම්වාසීන් ප්‍රකාශ කලද දැනට ඒවායේ නටඹුන් හෝ දක්නට නොමැත. එමෙන්ම, සිංහල රජදවස වැව ගෙදර, මාබොදල ප්‍රදේශ වල පිහිටා තිබූ වැව් වලින් විශාල කුඹුරු ප්‍රමාණයක් ගොවිතැන් කර ඇත. එම අස්වැන්න තබා තිබූ පෙදෙස වී-දාන-මුල්ල පසුව විතානමුල්ල වූ බව ජනප්‍රවාදයේ සදහන් වේ.



එස්සැල්ල


සකලකලා වල්ලභ රජුගේ සෙනෙවියෙකු පැමිණ මෙහි පදිංචිව වැවක් සාදා ඇති අතර, එම වැවේ වැව් බැම්ම සෑදීම සඳහා පස් හා මැටි සපයා ගැනීම සඳහා මෙම ප්‍රදේශයේ ස්ථාන වල කනින අවස්ථාවේ සෑම තැනකම කුඩා හීනි වැල්ලක් තිබී ඇති අතර, එම නිසා වැව් බැම්ම සෑදීම සඳහා පස් හා මැටි සපයා ගැනීමට නොහැකි වී ඇත. එම නිසා මුලින් හිස් වැල්ලක් ලෙසත් ඉන් කාලයකට පසුව හිස්සැල්ල ලෙසත්, ඊටත් පසුව එස්සැල්ල ලෙසත් ගමේ නම සෑදුන බවට ජනප්‍රවාදයේ පවතී. ඉන් පසුව මැටිකොටමුල්ල ප්‍රදේශයෙන් පස් හා මැටි සපයාගෙන වැව් බැම්ම සාදා ඇත. මෙම වැව කාලානුරූපව ගොඩවී ගොස් අතීතයේදී වැවේ කොටසක් ගොවීන් විසින් කුඹුරක් ‍ලෙස අස්වද්දා ඇති අතර එම කුඹුරු දැනටත් වගා කරයි. මෙම වැවේ උසට තිබූ වැව් බැම්ම අතීතයේදී පාත් කර ගමේ මැදට ගමන් කිරීමට පාරක් සාදා ඇත. එම පාර දැනට භාවිතා කරයි. මෙම එස්සැල්ල ගමේ මාබොදල ගමට ආසන්නව කුඹුරු යායේ නොසිදෙන දිය බුබුලක්, උල්පතක් තිබී ඇති බව ජනතාව ප්‍රකාශ කරයි. එමගින් නෑමට හා වෙනත් අවශ්‍යතා සඳහා ජලය සපයා ගත් බව වයස්ගත ජනතාව ප්‍රකාශ කරයි. එම දිය බුබුල කුඹුරු වගාකරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා පසුව සිදී ගොස් ඇත.