ග්‍රාම නාමයන්


මිනුවන්ගොඩ පුරවරයේ පිහිටා තිබෙන්නාවු ග්‍රාමයන්හි නාමයේ ඉතිහාසය පෙපගින් ඔබ වෙත ගෙන එමට කටයුතු කරන්නෙමු මෙම දත්තයන් ඒ ග්‍රාමයන්හි ග්‍රාමනිළධාරින් ලබා දී ඇති බව කරුණාවෙන සලකන්න.



වටිනාපහ


උඩුගම්පොල රාජධානි යුගයේ රජකම් කල සකලකලා වල්ලභ රජු මාබොදල වැව දක්වා යන ගමන් මාර්ගයේ ඔහුට අයිති වටිනා ප්‍රාසාද පහක නතරවී ගම්න් කරන ලද බවත් එම වටිනා ප්‍රසාද පහ හේතුවෙන් “වටිනාපහ“ ලෙස ජනප්‍රවාදයේ සඳහන් වූ බවත් පසුව එය වටිනාපහ ලෙස භාවිතා වූ බවත් සඳහන්ය.



වන්කැපුමුල්ල


සකලකලා වල්ලභ රජුගේ උඩුගම්පොල රාජධානි සමයේ ගල්කන්ද ශ්‍රී මහා පත්තිනි පුරාණ දේවාලය වන්දනා කිරීම සඳහා රජු පිරිවර සමඟ යාමේදී වසුන් (අග්ගලා) කෑ මුල්ල, බිදී අවුත් වන්කැපුමුල්ල ලෙස සෑදී ඇති බව ජන කතා හා වැඩිහිටියන්ගේ තොරතුරු අනුව සැලකේ. ගල්කන්ද ශ්‍රී පත්ති‍‍නි පුරාණ දේවාලයේ ප්‍රධාන කපු පරම්පරාව පැවතෙන ගම හෙයින් වන්කැපුමුල්ල ලෙස ව්‍යවහාර වන බවද මතයක් පවතී. දැනටත් එහි ප්‍රධාන කපු පරම්පරාව වන අධිකාරි අප්පුහාමිලාගේ කපු පරම්පරාව ජීවත් වනුයේ (වන්කපුමුල්ල) වන්කැපුමුල්ල ග්‍රාමයේය.



මාබොදල


උඩුගම්පොල රාජධානියේ රජ කල සකලකලා වල්ලභ රජතුමාට අයත් වූ මහා බූදලය සගවා තබා ගැනීමට එතුමා තෝරාගන්නා ලද ප්‍රදේශය මෙම ගම්මානය විය. එම මහා බූදලය සැගවූ හෙයින් පසු කලෙක ජන ව්‍යවහාරයේදී මෙම ගම්මානය “මාබොදල“ ලෙස හැදින්විනි. තවද 1815 දී පමණ වැව ආශ්‍රීතව කරන ලද බවත වගාවක එක් බතල වැලක බර හොන්ඩර එකක් පමණ, දිග අඩි 14 හා අලය කැපුම් හරස්කඩ විශ්කම්භය අඩි 3 ½ පමණ විශාල වූ බතල අලය නිසා මහාබතලේගම ලෙස පටබැදී ඇත. පසු කලෙක එය ජන ව්‍යවහාරයේදී “මාබොදල‘‘ලෙස හැදින්විනි.



බලබෝව


මෙම ග්‍රාම නිලධාරී වසම පුරාණ ගම්මානයක් වන අතර අතීතයේදී බොහෝ බලගතු බෝ ගස් කිහිපයක් තිබුණ ‍බෝධීන්වහන්සේලා නිසා මෙම ප්‍රදේශය බලබෝධිය ලෙස හැදින්වූ බවත්, ජන ව්‍යවහායේදී මෙය බලබෝව වූ බවත් සම්ප්‍රදායේ පැවත එන මතයයි.



ගණිහිමුල්ල


ගණිහිමුල්ල යන නම පටබැදුන ආකාරය පිළිබඳව ගමේ විහාරාධිපති හිමියන්ගෙන් සහ වැඩැහිටි පිරිසගෙන් ලද තොරතුරු අනුව නුවර යුගයට අයත් කාලයේදී බුදු දහම ආරක්ෂා කරගැනීමේ අරමුණින් කහ නූලක් උර දරාගෙන ආගමික කටයුතු සිදු කරමින්, පවුල් ජීවිතයද ගත කරමින් එහෙත් දුෂ්ශීල කටයුතු වලින් තොරව ජීවත් වූ පිරිසක් ගමේ එක් මුල්ලකට වන්නට කුඩා ආරාමයක් සාදාගෙන සිටි බැවින් (දැනට සුසානභූමිය සඳහා වෙන් කරඇති ඉඩම) මෙම ගමට ගණිහිමුල්ල යන නම පට බැදුන බවත්, මෙම පිරිසට ගණින්නාන්සේලා යනුවෙන් හැදින්වූ බවත් සඳහන් වේ.