ග්‍රාම නාමයන්
මිනුවන්ගොඩ පුරවරයේ පිහිටා තිබෙන්නාවු ග්‍රාමයන්හි නාමයේ ඉතිහාසය පෙපගින් ඔබ වෙත ගෙන එමට කටයුතු කරන්නෙමු මෙම දත්තයන් ඒ ග්‍රාමයන්හි ග්‍රාමනිළධාරින් ලබා දී ඇති බව කරුණාවෙන සලකන්න.
කලහුගොඩ
ඈත අතීතයේ ඉතා කලහකාරීත්වයක් මෙම ගම තුල දක්නට ලැබුන අතර, එම නිසා කලහ + ගොඩ නමින් හැදින්වූ අතර පසුව එය කලහුගොඩ යන නමට පරිවර්තනය වූ බව මෙහි පාරම්පරික ජනතාව පවසයි.
උන්නාරුව
අවුරුදු 200 කට පමණ පෙර මෙම ගමෙහි උණ වනයක් තිබී ඇත.එක ගමෙහි පවුල් 04ක් පමණ පදිංචිව සිට ඇති අතර මෙම වනයට උණ කැපීමට යන විට උණ ආරුවට යන බව පවසා ඇත. ඉන් පසුව කාලයාගේ ඇවෑමෙන් ශබ්ද කිරීම වෙනස් වී “උණ ආරුව“ උන්නාරුව ලෙස භාවිතා කර ඇති අතර, අදත් උන්නාරුව ලෙස භාවිතා කරයි. අතීතයේදී උන්නාරුව සිමෙන්ති අමුණ අසලින් අලිමංකඩ තිබී ඇත. එයින් අලි ගඟෙන් මෙගොඩ ගොස් ඇත. ඒ අනුව මෙහි වනයක් තිබී ඇති බවට ජනප්‍රවාදයේ පවතී. අදත් අලිමංකඩ ස්ථානය පවතී.
ජාපාලවත්ත
රබර් වගා කොට තිබූ රජයේ ඉඩමක් එම රබර් වගාවේ වැඩකල ජනතාව සදහා වන්දි වශයෙන් 1988 වසරේ ගම් උදාව යටතේ ‘’ගුණසෙවනගම’’ ලෙස නම් කොට ප්‍රේමදාස ජනාධපතිතුමා විසින් ඉදිකල ගම්මානයකි. එම ගම්මානය සදහා පවරාදුන් රබර් වගාව පැවති වතුයාය ‘’වල් ජාපාලවත්ත’’ ලෙස නම්කර පැවති අතර එය ‘’ජාපාලවත්ත’’ ලෙස භාවිතා කරනු ලබයි.
පොල්වත්ත
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොල්වත්ත නම් මනරම් ගම් පියස ක්‍රි.පූ. හයවන ශත වර්ෂය පමණ කාලයේ උඩුගම්පොල කේන්ද්‍රස්ථානය කර ගනිමින් ශ්‍රී ලංකාවේ රජකම් කල යුව රජකු වන සකලකලා වල්ලභ නම් රජුගේ පාලනය කාලයේ නින්දගම් බවට පත්වූ ගම් පියසකි. එවකට රජකම් කල රජතුමන්ගේ මාලිගයට පොල් ලබාදීම මෙම වැසියන් විසින් සිදු කල හෙයින් මෙම ගම පොල් උයන නමින් හදුන්වා ඇති අතර, පසුව එය පොල්වත්ත බවට නම් වී ඇත. එකල රජ මාලිගයට අයත් අලි ඇතුන් නෑවීම පිණිස මෙම ගම් පියසට ගෙනවිත් ඇති අතර, එම ස්ථානය හස්ථි වල නමින් දැනට ව්‍යවහාර වේ. එමෙන්ම මෙම ගම් පියසට බටහිර දෙසින් වැවක නටඹුන් ඇති අතර, එම ස්ථානයට රාජ කුමාරයන්දිය නෑම පිණිස පැමිණ ඇති බව ජනවහරේ සදහන් වේ.
මෙම ප්‍රදේශය මැටි තිබූ ග්‍රාමයක් බැවින් මැටි භාණ්ඩ සෑදීම මෙම ගම් වාසීන්ට භාරදී ඇත. ඒ අනුව මෙම ගම්වැසියන් කුඹල් කර්මාන්තයෙහි යෙදුන බව සදහන් වේ. රජතුමාට දිය නෑම පිණිස මැටි වලින් සෑදුම්ලත් අලංකාර තරුණියක් මෙම ගම් වාසීන් විසින් සාදා දුන් හෙයින් ඔවුනට ප්‍රති උපකාර පිණිස රජතුමා විසින් ඔහුගේ ඇත් ගාලේ සිටි කුරු ඇතින්න මැටි පාගා ගැනීම පිණිස තෑගි කොට ඇත. එම ඇතින්නගේ නම කපුරු වූ හෙයින් මෙහි මුල් පදිංචි කරුවන්ගේ වාසගම කපුරු වූ බව ජන වහරේ සදහන් වේ. දැනට පොල්වත්ත නමින් හදුන්වන මෙම ගම් පියසෙහි සරුසාර පොල් වගාවන් ඇති අතර වැඩි දෙනෙකුගේ ස්වයං රැකියාව වශයෙන් කුඹල් කර්මාන්තය දැක්විය හැකිය.
ඕපාත
අත්තනගලු ඔයේ ශාඛාවක් වශයෙන් ගලා බස්නා දඩුගම ඔය නමින් හදුන්වනු ලබන සීතල බවකින් යුත් මනරම් පරිසරයක හෙබි මෙම ගංගා නදිය මීගමු කල්පුවට වැටී මුහුදට පතිත වේ.මෙම රම්ණීය ගංගාව බස්නාහිර පැත්තෙන් ඕපාත ගම සීමාවක් බවට පත්ව ඇති අතර අනිත් පැත්ත ගණේපල ගම් සීමාව කරගෙන ගලා බසී. මාන කොක්කු, මග කොක්කු, ගිරා රංචු, කොරවක්කන්, පිලිහුඩුවන්, කපුටන්, වවුලන්, කිරිවවුලන්, බකමූණන්, කොබෙයියන් ආදී වර්ගයේ පක්ශීන් මෙම ගම නියෝජනය වන සේ පියාසර කරමින් මෙහි සුන්දරත්වය වඩ වඩාත් අලංකාර කරන අතරම මනරම් කුඹුරැ යායකින්ද සමන්විත වේ. ඔය නියෝජනය කරමින් පහත් බිම් ප්‍රදේශයක්ද ඇතුලත්වපිහිටි හෙයින් ඔයපාත යන අරුත උපයෝගී කර ගනිමින් ඕපාත යන නමින් හදුන්වනු ලබයි.